Dec 6, 2015

මහ රෑ කාමරයට ආ අමුත්තා ( 2)


මම මගේ කාමරේ ජනේලේ පොලු අස්සෙන් වැස්ස දිහා බලං හිටියා.මුකුත් එච්චර පෙණුනටම නෙවි.. වැස්ස වගේ කඩා හැලෙන කඳුළු ගඟ ඉකියකුත් එක්ක පිටවුනේ මටත් හොරෙන්. වැස්ස හොඳයි.. මගේ කඳුළු කවුරුත් දකින්නෙ නැහැ...කොච්චර වෙලා ඇඬුනද කියන්න මට තේරුමක් නැහැ

අම්මට කොහොමත් මාව පේන්න බැහැනේ . ආදරේ මල්ලිටයි නංගිටයි  විතරයිනෙ? මට හිතුනේ නොරිස්සුමෙන්... .
ආයමත් නො එන්න  ගෙදරින් හෙට උදේ   යන්න ගත්තු තීරණය මම වෙනස් කරන්නෙ නැහැ. හෙට උදෙන් කවුරුත් නැගිටින්න කළින්ම කළුවරේ මම යනවා. පුංචි කාලේ ඉඳන් මගේ මුළු ලෝකයම වුන පවුලත් කාමරේත් දාල යනවා...

හිටගෙන ඉඳලම කකුල් රිදෙන කොට මම හෙමින් ගිහින් ඇඳේ හාන්සි වෙලා ජනේලෙන් එළිය බලාගෙනම වකුටු වුණා මට එහෙමම නින්ද ගිහින්.... ආදරෙන් මගේ ඔළුව අතගානවා දැනිලා මට ඇහැරුණා..  ජනේලෙන් එන හඳ එළියෙන් කාමරය එළිය වෙලා.. සීතල හුළඟක්  ඇවිත් මට සීතලක් දැනිලා පෙරවන එක අස්සෙ මම ගුලි වුණා......
.
ආදරය පිරුණු ඇස් වලින් අප්පච්චි මා දිහා බලන් ඉන්නවා.

අප්පච්චි මා ලඟින් වාඩි වුනා.. අපච්චිට ඉඩ දෙන්න මම චුට්ටක් දුරස් වුණා. වෙනද වගේම අප්පච්චි මගේ ඔළුව අතගාල ඇහුව මගේ පුතාට බඩගිනිනේ? කියලා... ඉදිච්ච අඹ ගෙඩි දෙකක් කපල ලුණුදාලා මිරිස් දාලා තියෙන මට දුන්නා..


"දෝණි, කරන්න යන වැඩේ හරිද මගෙ දුවේ? මල්ලියි නංගියි දාලා යන්න එපා මයෙ දුව.. අම්මට කවදත් තරහ යනවනේ? එයා බැන්නට ඔයා ගෙදර දාල ගියාම හරි යන්නෙ නැහැන් මගෙ මැණික?"
කේන්තිය දුක ඉවර වුණාම තව සතියකින් විතර ඔයා ඒ ගැන ආයම පාරක් හිතලා බලන්නකෝ.. හොඳද? ඔයා මොනවද පුතේ ලෝකේ ගැන දන්නේ? නන්නාදුනන තැනක නැවතිලා උදෙ ඉඳන් හවස් වෙනකම් ...... මිනිස්සු කබළෙන් ලිපට වැටෙන්න හොඳ නැහැනේ
දැන් ඔයා පොඩි ළමයෙක් නෙවි.. මීට වඩා පරිස්සමෙන් කල්පනාවෙන් වැඩ කරන්න ඕනි හොඳද?
මට පොරොන්දුවෙන්න ආයම ඔය වගේ වැඩක් කරන්න හිතන්නෙ වත් නැහැ කියලා

ජීවිත කාලය පුරාවටම කෙල්ලක් ගැහැණියක් තමන්ගෙ හොඳ නම රැකගන්න ඕනි... කවමදාවත් කණ්ණාඩියෙන් තමන්ගෙ මුහුන බලන්න බැරිවෙන කිසිම දෙයක් කරන්න එපා හොඳද?

මම ආයම අඬන්න පටන් ගත්තා. නැහැ මට ඇඬුණා...... අම්මා උදේ බනිද්දි අඬපු නැති මම දැන් ආයම ඇඬුවා....

"කඳුළු හරිම වටින දෙයක් මයේ පුතේ..... ඒවා ඔහේ හැලෙන්න අරින්න එපා.... කොහොමත් කාටවත් තමන්ගෙ දුක කියන්නම එපා හොඳද?ගැහැනියක්ගෙ කෙල්ලක්ගෙ කඳුළු වලට කරන්න බැරි දෙයක් නැහැ කිව්වට ඒ දුක පෙන්නන්න ගිහිනුත් අමාරුවෙ වැටෙන්න පුළුවන්... මතක තියා ගන්න කඳුළු ඔයාගෙ විතරමයි අඬන්නම ඕනි නම්"
මම යන්නම්. ගෙදරින් යන්න හිතනවා එහෙම නොවෙයි ඔන්න"

"අනේ අප්ප්ච්චි" කියවුණා මට...

අප්පච්චි හෙමින් දොර දිහාට ගියා...මට එයාට එහෙම යන්න දෙන්න බැහැනෙ? මම පැන්නා අප්පච්චි දිහාවට.. දඩාං ගාල මාව කොහේ හරි වැදුණා...

සද්දෙ හැටියට මම වැදුනෙ දොරක...  මම දොර අල්ලගෙන අඳුරෙම ආපහු හැරිලා වට පිට බැලුවා.. මම ඉඳලා තියෙන්නෙ අප්පච්චි ගේ ඔෆිස් කාමරේ..

"අනේ සෙනේ යන්න එපා" කියලා අම්ම කෙඳිරි ගානවා මට ඇහුණා. එයා අඬනවා කියලා මට තේරුණා...
ඒත් මට එතනට යන්නත් බය හිතුන.. ඒ වගේම කතා නොකර හිටියොත් අම්ම තවත් අඬයි කියලා මට හිතුණා

අම්මා අම්මා කියන්න කට ඇරියට මගේ වචන පිටවුනේ මම කීප සැරයක් අම්මට කතා කලාම තමා.
බය හිතුනත් ටිකක් මම දොර ඇරන් එළියට ආවා කාමරෙන්. අම්ම දොරකඩ.....

දුක භය සතුට සැනසීම අම්මගෙ අඬලා රතු වුණු ඇස් වලින් මම දැක්කා... අම්මත් මගෙ ඇස් දෙක දිහා බලල අහක බලාගත්තා..

අම්ම කෙළින්ම ගියේ මගේ ඇඳ ළඟට... එයා ගිහින් අත තිබ්බා අප්පච්චි වාඩි වෙලා  හිටපු තැනට,,,,

මමත් ඒ ළඟින් වාඩිවෙලා අම්මගේ අත ලඟින්ම  මගේ අත තිබ්බා. අප්පච්චි  වාඩිවෙලා හිටි තැන රස්නෙයි.... අම්මයි මායි හෙමින් අපෙ ඔළු හරවලා එකෙක්කෙනා දිහා බැලුවා.. දෙන්නම අත් අල්ලන් උරහිස අස්සේ මූනු හන්ගන් ඇඬුවා. ඇඬුණා .

 අපි කොච්චර වෙලාවක් එහෙම හිටියද මට හිතා ගන්න බැහැඅම්මා දිග හුස්මක් හෙලලා   පාත්වෙලා ඇඳ යට තිබ්බ මගේ රෙදි බෑග් එක අරන් අල්මාරිය ලඟට ගියා. මම ගනන් කරල ගත්තෙ කිට්ස් 5ක් විතරයි. මුකුත් නොකියා ඒවා ආපහු අල්මාරියට දැම්මා... අල්මාරියෙ උඩම තට්ටුවෙ  මම තිබ්බ ලියුම අරන් කියවන්නෙ නැතුවම මට ගෙනත් දුන්නා.... දුන්න නෙවි මම වාඩිවෙලා හිටපු තැනෙන් තිබ්බා.. හරියටම අප්පච්ච්ට දුන්න වගෙ
ඉන්පස්සෙ හෙමින් හෙමින් ජනේලෙ ළඟට ගිහින් මම බුරුල් කරලා තිබ්බ කූරු දෙක ගලවලා අරන් බිත්තිය මුල්ලෙන් තිබ්බා...

අනිත් ජනෙල් කූරු දෙකක් අල්ලන් ආයමත් අඬන්න පටන් ගත්තා. මම ඔහේ මගේ කකුල් දෙකේ මාපට ඇඟිළි දිහා බලන් හිටියා....

අප්පච්චි ගෙනාපු අඹ ගෙඩි දෙකේ දියවෙච්ච  මිරිස් බිඳු කීපයක් මෙත්තෙට වැටිලා තිබුණා.. ඒ අප්පච්චිගේ ලේ කඳුළු කියලා මට හිතුනෙ?

ඒ ආවේ කවුද? අප්පච්චිද? අප්පච්චිගෙ හොල්මනද?හොල්මනට බාගෙට ඉදුණු අඹ කපල ලුනු මිරිස් දාලා ගේන්න පුළුවනිද? එකම වෙලාවෙ අම්මගෙ කාමරෙයි මගේ කාමරෙයි ඉන්න පුළුවනිද? හොල්මනක් නම් අප්පච්චි වාඩිවෙලා හිටිය තැන රස්නෙ කොහොමද? අපි දැක්කෙ හීන නම්.... අම්ම මේ දේවල් ඔක්කොම හීනෙන් දැක්කෙ කොහොමද? බනට ආව සාදු කිව්වෙ කූඩැල්ලෝ වගෙ අපි එක ආතමයක් අතාරින්නෙ තව තැනක්/  ආත්මයක් අල්ලගෙන කියලා...

අම්මා කොහොම දරන් ඉන්නවා ඇතිද?

ඉකිලන ඉසුඹුලන රිදුවන තරුණ .........බවේ
විඳවනු දනිමි රෑ තුන්යම ඉකියෙ..........තැවේ
කඳුළැලි සඟවමිය නොනැවති ගලන.... ඉබේ
විසඳනු කෙළෙසකද නොදනිමි මහද ..... තැවේ

හමුවන කම්කටොළු දුක් කරදර ..............බාදා
ඉවසනු කෙළෙස මට හිසරදයක්............ සාදා
කඳුළක සුසුම හා දුකකට මග................ පාදා
කවියක සවිය ළඟ සැඟවෙමි සිත………… පාදා

රෑ සඳ හොරෙන් ඔබෙ කුටියට එබෙන්නෙපා
සීතල සුලං හොර රහසෙන් ...වෙළෙන්නෙපා
පාළුව තනිය හිත අස්සෙත් .....තියෙන්නෙපා
තනිවුණු බවක් මගෙ අම්මට දැනෙන්නෙපා


රතුවුණු දෙනෙත හංගා ගෙන ඇයිද…… කියා
විමසනු නොහැක මගේ දෙනුවණ රතුම නියා
මදහස පාමි නොබලමි ඔබෙ දෙනෙත….. දිහා
හිනැහෙමු අම්මි අපි දුකඳුරු මැදින්……. වියා





තරුණ වයසෙදි සැමියා නැතිවෙලා කඳුළු සුසුම් හංග ගෙන ඉන්නෙ අම්ම.. එයාගෙ කිංකිණි හිනාව අපිට දැන් ඇහෙන්නෙ නැහැ.. මද හිනාවක් ( මම කියන්නෙ අම්මගෙ මොනාලිසා හිනාව  ) විතරය් දැන් අම්මි ලඟ තියෙන්නෙ.. අප්පච්චි අපේ හිනාව අරන් ගිහින්

පුංචි සමනළියක් වගේ ඉගිළුණු මම දැන් පොඩිහිටියෙක් නැහැ වැඩිටියෙක්. අප්පච්චිගෙන් හිස්වුණු කොටසෙන් අල්ප මාත්‍රයක් වත් පුරවන්න උත්සහ කරමින්


අප්පච්චී


සිහිනෙන් ඇවිත් හිස අද්දර නවතිනවා
කඳුළැලි සිනහ රැලි විටකදි හිමි වෙනවා
දිවි මග ගමන ගැන තනියම ලත වෙනවා
ඔබ ගිය මගම මට එන්නට සිත් වෙනවා
මතු මතු ඉපිද මම පියතුම දුව වෙනවා

රහසින් වගෙයි මට මොනවද පවසනවා
සෙනෙහෙන් පහත් වෙල හිස අල්ලනවා
හඬමින් මමත් නෙතු කඳුලැලි වගුරනවා..
...
තනිකම රැයෙහි හෙමි හෙමිහිට මතු වෙනවා


"දරුවන්ගේ දුක් කඳුළු  දකින දා සුරලොව සිට අත පා.....ඒ කඳුළැලි පිසිනා"
අප්පච්චිලත් ඉන්නවා.. එහෙමවත් හිත හදා ගත්තෙ නැතිනම්..........









Dec 4, 2015

බ්ලොග් සිහින මිය යන

දන්න අය දන්නව නෙ මම ගැන. මූණු පොතේ රිංග ගෙන

කවියක්.....

" කමුද උණු උණු බිත්තර ආප්පයක්.. ලුණු මිරිසුත් තියෙනවා සැරම සැර?

"බොමුද සීතල වතුර වීදුරුවක්? "

වගේ පෝස්ට් එකක් දාල  3951 ෆලොවර්ස් ල එක සාමදානයෙන් හිටියා..

පිරිමියාගෙ හදවතට කෙටිම මාර්ගය එයාගෙ බඩ කියනවනේ? ඉතින් වැඩි හරියක් කන්න බොන්නම තමා දුන්නේ.හදවත් කීයක් අස්සට රිංගුවද කියලා අහන්න එපා. කියන්නෙම නම් නැහැ

කමෙන්ට් ලයික් නම් ඉතින් 100 ක් වත් පන්නනවා ( හැම තිස්සෙම නොවුණත් )











 මතකනෙ? දුන්හිඳ අද්දර පෙම් කවි පෝස්ට් කරල කළණය්ය (කලන  මිතු  ) තමා මාව අමාරුවෙ දැම්මේ
මූණු පොතේ කවි මඩුව දුංහිඳ අද්දර

එයාගේ කමෙන්ට් වලත් තිබ්බෙ බ්ලොග් ලෝකයට එන්න අත දෙන්න කියලා.. ඉබ්බ දියට දැම්මම ඇන්නෑවේ කිව්ව වගේ මමත් ඉවක් බවක් නැතුං පැන්න බ්ලොග් ලියන්න

 කළණය්ය/ මනෝජ් ( මනාගේ පින්තාරුව ) සින්දු  ඇනෝ/ සජ්ජාගේ පඩංගුව

වගේ අය හුඟක් උදව් කළ මේක " අටව ගන්න". උපදෙස් කමෙන්ට් මගේ අඩුපාඩු අඩු කරගන්න පුළුවන් වුනා..

මං ඉතින් පේජර්ස් පහක් මූනු පොතේ පවත්තන් යනවාදැන් ඒ වැඩ ටිකක් අඩාල වෙලා


කවිමුතු



ආසයි බයයි


ඔන්න ඕවගේ ඒව තමා මම ඒවගෙ පෝස්ට් කරන්නෙ
ඕවගේ සීනිබෝල දීලා බ්ලොග් කාරයන් රවටන්න බැහැ 


(ඉතිං ඔයාල මට කිව්වෙ මූණුපොතේ නිකං නාස්තිවෙන්න එපා කියලනේ?)


ඉතිං මගේ ප්‍රධානම ප්‍රශ්නෙ මොකද්ද දන්නවද? ගැලපෙන බ්ලොග් එකක් පෝස්ට් එකක් බ්ලොග් ලෝකෙට අරං එන්නේ කොහොමද කියලා.

අද 12/04/2015....... වෙලාව 5.05 පී. එම් (:පී) නොවෙයි
කළණය්යගෙ බ්ලොග් පෝස්ටුව්කට මගෙ කමෙන්ට් එක මෙන්න

"කළණය්යා විසින්  මරන්නට යන ගොනෙකු දක්කා ගෙන යන්නාක් බ්ලොග් ලෝකයට ඇදන් ආ මටත් ප්‍රශ්නා හැට කෝටියකි ( ඔවන් ) ... මේ තරම් සිත් නොගන්න සුළු වුවද එය පෝස්ට් කිරීමට කොන්දක් නැතිව සිටියෙමි.:



කිරි ගහට මෝල් ගහෙන් ගහන්නා සේ කතා කිරීමට රුසියෙකි අපේ කළනය්යා..  (‍ය්)
= එබැවින් එයද පෝස්ට් කරන්නට ඉඨා ගත්තෙමි"

ඉබි පිහාටුවක් ගන්නවටවත් වඩා ආමාරු වැඩක් බ්ලොග් කමෙන්ටුවක් ලබා ගැනීම....


නමුත් මනාගේ පින්තාරුව කියන හැටියට නම් මේ ලැබෙන කමෙන්ට්සුත් ඉහටත් උඩින්.. මුලදි එයාට කමෙන්ට් ලැබුනෙම නැතිළු.. එයා බොරු කියනවද මන්දා..

මම ඉතින් බ්ලොග් සහ සින්ඩි වල ඇවිද තොරතුරු හොයාගත්තා

ඉතා වැදගත් කරුණු රැසක් ඉදිරිපත් කරන  පෝස්ට් (කවුරුත් කමෙන්ට් නොකළ )

කවි

කෙටි කතා ( අගනා)

දේශාපාලන (මට නම් අරහං ප්‍රධානම දේ මේ කාට කා ගැන කියනවද කියලවත් මට තේරෙන්නෙ නැහැ         මිනිසා දේශපාලනික සත්වයෙකි.. හ්ම්ම්ම්  මම ඉතින් මිනිසෙක්ය නැහැනෙ)නොදන්න දේශපාලනෙ කරන්න මම නිළියෙකුත් නෙවිනෙ?

අසැබි සහ ජනප්‍රිය (එකක් ලිව්ව . ඔයාලට මතක නම් " අද නම් හෙළුවෙන්ම වැනුවා") =හිතපු තරම් ලොකු වෙනසක් කරගන්න බැරි වුණා +මධු මාදවී  වගේ ලියන්න මට බැහැනෙ.

ආත්ම කතන

එදිනෙදා සිදුවීම්

මම හොයා ගත්තු දේ තමයි බ්ලොග් වල ස්ත්‍රීන් අඩුයි. හිටියත් පාඩුවේ ලියනවා. වැඩිය අනුන්ගේ ඒවට කමෙන්ට් කරන්නෙත් නැහැ.. වෙනසක් කරන අය ඉන්නවා

කවුරුත් දන්න " බස්සී " එක්කෙනෙක්. මම එයාගෙ හැම පෝස්ට් එකක් වගේම කියනවා. කමෙන්ට් නම් ඉතා අඩුවෙන්.. ඒකෙ ලියන දේවල් මට වැඩිය තේරෙන්නෙත් නැහැ. ( බුද්ධියට ගෝචර වෙන්නෙ නැහැ = බුද්ධිමත්  බ්වේ අඩුවක් මගේ )

අනිත් කාරණේ කියන්න ගිහින් මා එක්ක කට්ටිය අමනාප වෙයිද මන්දා.... හැමෝම 40+ ද මන්දා. ඉතිං මම කොහොමද එයාලට ගැලපෙන ඒවා ලියන්නෙ? බ්ලොග් ලියන්නෝ වයසින් වැඩි අය නම්? කෝ අපේ අළුත් පරම්පරාව/ පොතින් දුරස් වී සෙල්ලමෙන් ඈත්වී පරිඝනකය බදා ගත්තු නව යුගයේ නව යෞවනයා? 

මූණු පොතේ හොයාගන්න බැරි මනුස්ස කම අළුත් කෙනෙක්ට අත දෙන පුරුද්ද.. කියන්න තියෙන දේ කෙළින්ම කමෙන්ට් කරන එක බ්ලොග් කාරයන්ගෙ මම දැක්ක අගේ කරන ගති ගුණ..
අනික බ්ලොග් වල මොන කුනුහරුප ලිව්වත් කමෙන්ට් කලත් කවමදාකවත් කැත විහිළු කරල මෙසේජ් කරන්නෙ නැහැ.වැදගත් ශීලාචාර තමා කතා බහ (‍y) 







Nov 28, 2015

රෑ හොරෙන් කාමරයට ආවෙ කවුද?

මොර සූරන වැස්සක් .. සීතලයි... රැහැයි හඬවත් .... කනකොක් හඬවත් ඇහෙන්නෙ නැහැ... හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් මොර සූරන?

මොර සූරන වැස්සක් ඒකෙ තේරුම මොකද්ද මන්දා....

ගස් වැල් හඬන සද්දේ.... දුරින් ඇහෙන ගඟ ගලන සද්දේ...තිගස්සවන හෙණ ගෙඩි පුපුරණ සද්දේ අස්සෙන් ........ සැරෙන් සැරේ  වටපිටාවට අණසක් පතුරුවණ විදුලි කෙටීම්........ බිය මුසු ආස්වාදයක් මගේ හිතට ආවා..

වැස්ස කවදත් සුමිහිරි සිතුවිලි මගේ හිතට අරන් එනවා..... ඒත් මේ පාළු අඳුරු රාත්‍රිය නම් එහෙම නැහැ..... 
භයක්..... පාළුවක්........ හුදකලාවක්...... මගේ හිතට අරන් ආවේ...

අප්පච්චි හිටිය නම් අපි 4 දෙනාම  නැහැ 5ස් දෙනාම එකම කාමරේ... සමහර විට එකම ඇඳක ගුලිවෙලා රස කතා අහනව..  නැතිනම් සින්දු කියනවා... අපි පුළුවන් තරම් අම්මටයි අප්පච්චිටයි ලං වුනේ සීතලටම නෙවි ...එළියෙන් කඩා හැලෙන වැස්සත් එක්ක හොරෙන් අපේ හිත් වලට රිංගන භය හංගගන්න  

මට මතක් වුනේ අප්පච්චි එක්ක  මුතියන්ගනේ ගිය හැටි... ශ්‍රී පාදය වඳින්න ගිය හැටි... කතන්තර කවි සින්දු ගාථා කිව්ව හැටි ..අද කාලෙ අප්පච්චිලට වඩා මගේ අප්පච්චි කොච්ර හොඳද?

අපේ අම්මට තරහ ගියාම හුඟක් බනිනවා . ඒ විතරක් නෙවි පිච්ච කෝටු පාර වදිනවා. මං අප්පච්චි ඉන්න වෙලවක නම් දුවන්නේ අප්පච්චි ළඟට.. එයා කවදාවත් අම්මට ඉඩ දෙන්නෙ නැහැ මට " හොඳවයින් පාරවල් දෙකක්" දෙන්න.ඒ වුණාට මම අප්පච්චි කියන දේවල් නම් ඇහුවා.. ( මට මතක් වෙච්ච වෙලාවට විතරක් )

අම්ම මගේ දඟකාරකම් අප්පච්චිට කිව්වම එයාට හිනා යනවා. මම ළඟ පාතක ඉන්නව නම් අම්මට හුඟක් තරහ ගිහින් නම් එයා අමාරුවෙන් හිනාව නව්ත්ත ගන්නවා මම දැකල තියෙනවා



රන් සමනළු රෑන් එක්ක
සිරිපාදෙ වදින්න යමි
අතර මගදි කකුල් රිදිලා
උරේ නගින්නම්
වැරදි කරල කෝටු පාර
දෙන්නට අම්මා එනකොට
දුවන් ඇවිත් ළඟට වෙලා
නොයාම ඉන්නම්

රෑ තිස්සෙ පාඩම් කර
කම්මැලි  වී දුවන් ඇවිත්
පිල් පඩියෙ වාඩිවෙලා
කවිත් අහන්නම්

හතර වරං දෙවි පිහිටෙන්
ලෝකෙ හොඳම ළමය වෙන්න
උත්සහ කර බැරි උනාම 
නොකියම ඉන්නම්

පාන තියා බුදු සාදුට
මහ හය්යෙන් ගාථා කියා
වැරදුණාම හොරෙන් බලා
ඇස් වහගන්නම්,,,

හිමිදිරියේ බදුළු ඔයේ
තරඟෙට දිය බුං ගහන්න
සීතලයට ගැහෙනා වග
නොකියම ඉන්නම්

පාර  පුරා පේර පඳුර
තනි අකුරෙන් ලියනා හැටි
කියලා දෙන විට ආයත්
බලාන් ඉන්නම්.

සුළැඟිල්ලේ එල්ලීගෙන
කළුවරේම පන්සල් යමු
වටින් පිටින් එන සද්දෙට භය
නොපෙනවා ඉන්නම්.

එදා වගේ වැට අද්දර
මා එන තුරු නෙතු යොමාන
එක දවසක් ඉන්නවාද
මුළු ලෝකෙම මගේ කියලා
හඬක් නගන්නම්

කවමදාවත් මට නොපෙනුන  අහසේ තරු රටා අප්පච්චි පෙන්නන කොට
" මේ දෝණියේ මගේ ඇඟිල්ල කෙළින් බලන්න" කිව්වම බලලා  "ආ දැක්ක අප්පච්චි කිව්වේ මම බොරුවට. ඒ ඇයිද මන්දා..... නමුත් දැන් මට ඒ ගැන දුකයි


~~අප්පච්චිගෙ මතක අතරේ මොහොතක්~~

පාමුල වැතිර රස කවි පද... ගයන්නම්
ගායන කරන ගී ළඟ හිඳ.... අහන්නම්
ආදර කතා හුරතල් වී ......කියන්නම්
මාළඟ ඉන්න පෙර සේ මා හිඳින්නම්
....
සීපද කියමු රෑ සඳවති .........අසාවී
ගී නෙක ගයමු ඒ දෙවඟනො නටාවී
මාවතෙ යනෙන විට සමනලු රඟාවී
මා ළඟ ඉන්න හිත සතුටින් පිරේවී
.....
මල් නෙක පිපී කඩුපුල් මල් බලාවී
සල්මල් නෙලා පන්සල් ගොස් පුදාවී
අත්වැල් පටල මාවතේ අපි දුවාවී
ගස් අතු දිගේ පොඩි පැටවුන් සොයාවී
.......

දිය බුං ගසා තරඟයකට පීන....... යමූ
කුඩමසු සොයා බෝතලයට දමා ගමූ
තුරු අග නැගී පැටවුන් හට කෑම දෙමූ
පළතුරු නෙලා ගස් යට ඉඳ රසට කමූ

බඩ පණුවෝ ගෝරණාඩු දාන්නෙ එළියෙ ඇහෙන හෙණ පිපිරිල්ලට තරඟයක් දෙන්නද මන්දා..... අනිත් අයටත් බඩගිනිද මන්දා.. මේ සීතලෙ රෑ කුස්සියට යන්නත් කම්මැලියි චුට්ටක් බයයි හ්ම්ම් සීතලත් තමා...

මට මතක් වුනේම අප්පච්චිවමයි



අද මගේ උපන්දිනය... අප්පච්චි නැතිව මට මොන සාදද? ලස්සනම ලාස්සන ගවුම්/ අඳුම් කේක් තෑගි මට හොරෙන් ගෙනල්ලා හංගං ඉඳලා දෙන හැටි මට මතකයි... සතුටුම සතුටු දවසක් කරන්න එදාට මම ආස කෑම බීම සෙල්ලම් ගමන් මොනවද නොකළේ....




උපන්දින උත්සවය
සමරන්නට ඕනි යයි
අවිහිංසක හිනාවක්
මල්ලිගේ මුව පුරා


ලස්සනම ලස්සන
ගේ පුරා සුවඳ විහිදුවන
කේක් එකක් වෙනදාට
අරන් ආවේ තාත්තා…

හංගලා අල්මාරියේ
මට හොරා ගෙනැවිල්ලා
දෝත පුරා මල් ගවුම්
තෑගි ගෙන ආවේ තාත්තා.. 

නමුණුකුල වගේ නොසැලිලා
මද පවනක් වගේ සුවයදී
සුදු නෙළුමක සුවඳ දෙන්න
දියෙන් කිරි වෙන් කරන
හංසියක් වෙන්න
උපන් දිනේ මට කීවේ තාත්තා

සුබ පැතුම් පත් එපා
පාටි මොනවත් එපා
තෑගි කොහොමත් එපා
හීනෙන්වත් තාත්තේ
අනේ ඇවිදින් යන්න

ආදරෙන් මගේ හිස
අතගා මගේ කඳුළු
පිස යන්න "මගේ
දෝණියේ" පවසන්න

මටත් නොදැනිම කඳුළු බිඳු කීපයක් ගලාගෙන ඇවිත් මගේ දෙතොල් ලුණු රහ කරද්හ්ඩි මම හෙමින් නැගිටලා මගේ කාමරේට ගියා.... අප්පච්චිට වෙච්ච පොරොන්ඳුව මට ඉශ්ට කරන්න බැරි වුණා කිව්වොත් මම වැරදිම නැහැ මම හිතන්නේ. එකම එක සැරයක් මට එයාගෙන සමාව ගන්න ඇත්නම්??????

ඉස්සර මම මූණු පොතේ කුරුටු ගෑ වචන පේළියක් මට මතක් වුනේ....




තාත්තේ සමාවෙන්න
තාත්තේ මම පොරොන්දු වුනා
අඬන්නේම නැහැ කවදාවත්ම
නංගියි මල්ලියි බලන්
ඉන්නවා අම්මත් එක්ක..

සත්තයි මම එයාලව
ආදරෙන් බලනවමයි
අම්මටත් මං හයියක්මයි
උත්සහ නම් ගන්නවාමයි…

එත්....
මට දැනෙන මේ දුක
දරන්නට බැහැමයි
පෙනෙන්නට නැති උනත්
හොරෙන් මං අඬන වග
තාත්තේ, දන්නවද?

"හැම තිස්සෙම තමන්ගේ
උපරිම උත්සහය දරන්න"
කීව වගේ උපරිමයම තමයි
හොරෙන් හොරෙන් මං ඇඬුවත්

අඬනවා විනා වෙන වැරදි නම්
කරන්නේ නැහැමයි
සමාවක් දෙන්නට

.......
හිතට එන හිතුවිලි ඔක්කොම කවි ගී කරන්න ඇත්නම් ඒවා ලියලා කා එක්ක හරි බෙදා ගන්න පුළුවන් නම්?මගේ කකුල් රිදෙනව නම් පන්සල් යනකොට එයා මාව වෙලාවකට ඔළුවෙ තියන් යනවා... වෙලාවකට උරේ තියන් යනවා.... "මගේ රැජිණී උඩයි උඩයි" කියලා...


"ඔයාගේ චූටි කකුල්

රිදෙනවද මයේ දුවේ,

වඩාගෙන යන්නද මං

තව ටිකක් දුර ම්..?"

"එපා දැන් මං ලොකු දුවනේ
මම එන්නේ පයින්
බුදුසාදු දකීවිද
මං ආවේ පයින් අද?"

"මගේ දෝනි අපි ළඟින්
ඉන්නකෝ මගේ දුවෙ
කළුවරේ ඇද වැටෙයි
වඩා ගෙනමයි යන්නේ"

"අර බලන්නකො හඳ මාමා
අපිත් එක්කම එනවා
පන්සලේ මල් අසුනේ
මලුත් තියෙනවද එයා?"

"පන්සලේ මල් ගොඩයි
තාත්තේ අපි ටිකක් ගමු
ගෙදර සාදුට දෙන්න
නෙළුම් මල් ලස්සනයි"

"ගෙදර යන කොට දූට
මල් අරන් දෙන්නම් කෝ?
සෙල්ලම කරන්නයි ම්?
සාදුටත් දෙන්නයි නේ?"

"දෝනි එන්න අපි
ගනන් කරමු අපි
"දුර අහසේ පියාඹන
වවුල්ලු... එකායි"
"එකායි දෙකායි පහායි
තාත්තේ මහ ගොඩයි"



මට කවමදාවත් ලබා ගන්න බැරි දෙයක් තියෙනවා.. ඒ පියෙකු විමේ වාසනාව.. 

අප්පච්චිගෙ හිත ඇතුලට කිමිදෙන්න මට පුළුවන් වුනා නම්.. මුවින් නොකී දෑසින් කිව් දේවල් මට තේරුණා නම්..... පලවෙනි වතාවට මම "තා තා" කිව්ව දවසේ අප්පච්චිට ඇඬුනලු.. හැබැයි මම එහෙම කියලා තියෙන්නේ ගෙදර ඉන්න පූසෙක් දිහා බලාගෙන...


~~~~~පිය සෙනෙහස ~~~
හිරු සඳු ඔබය ඝනදුර පිරි මගේ   ලොවේ
මොළකැටි මුවද සිපගමි පුත සෙනේ  මැවේ
දැක ගනු පිණිස පියඹමි සොය සොයා භවේ
තිලොවම මගෙය ඔබ ළඟ මගෙ අමද  සුවේ

කිරි කැටි සිනහ පිනවයි හද ලොවම නැවේ
මුදු රස බසද සනසයි හිත සතුට  දෙවේ
දුව දුව වැටෙන නැගිටින යුරු සිතෙහි මැවේ
කවිකම මොටද වැණුමට බැරි මගෙම  කවේ

"තා තා" කියා පළමුව ඇමතුව  දවසේ
නෙත් බොඳ වුණා මපුතුණි කාටත්   රහසේ
මා රජ වුණා කිරුළද පළඳා   නිවසේ
ඇත්තයි සිතේ අනගිම වදනයි සුබසේ

නවතනු පිණිස නුඹගේ එක කඳුළු බීඳක්
මවනෙමි සිහින මතු බුදු වෙන පුතා   රජෙක්
තරයෙම වැළඳ ගමි පුතුනේ එයද    සැපක්
තබනෙමි තිලොව පාමුල මට නොමැත  සැකක්

කියන්න හැදුවේ එකක් .. කිව්වේ තව එකක්. "ටිපිකල් වුමන්" එහෙම කියලා කමෙන්ට් කරනවා එහෙම නොවෙයි ඕන් :)

........
ඒ හින්දා මම මේක " මහ රෑ කාමරයට ආව අමුත්තා ( 1 කොටස ) කියලා නම් කරන්නම් හොඳේ.. කවි ටිකක් වැඩි වුනාද මන්දා :)















Nov 24, 2015

අල්ලස!අල්ලස!!අල්ලස!!!!

මම ගේ දොරකඩ ඉඳන් පහල බලං හිටියේ දුරින් ඇදෙන වාහන වලට කන්දී ගෙන...
වෙනදාට නම් මාමාල මේ වෙන කොට එනවා. කළින් ආවොත් මුතියන්ගනෙත් ගිහින් එන්න තිබ්බා...මේ කන්ද උඩ මාළිගාව ඉතිං ඔටුණු නොපලන් කුමාරයා ආවොත් සද්දෙන් පිරිණවා. හ්ම්ම්ම්ම්ම්ම්ම් සද්දෙ මිසක් හිත නම් පිරෙන්නෑ.......පණ්ඩිත කටේ නරිවාදං නැතිනම් චුට්ටක් සළකළා බලන්න තිබ්බා..... මගේ සිතුවිලි ඔහේ පාවුණා..

"අනේ තාම ආවේ නැහැනෙ ආවෙ නැහැනෙ මල් දුන්නෙන් වඩින  ඉලංදාරියා"

පරණ සින්දුවක් කියාගෙන මං ළඟට ආව නංගි  මගේ ඉන දෙපැත්තෙන් අත දාලා මගෙ බඩ හරහා අත් දෙක බැඳගෙන මාව දෙපැත්තට පද්දන්න හැදුවා..

"මැට්ටියෙ, දෙන්නම වැටෙයී"

මම හිනා හඬත් එක්කම කිව්වා ..

"අවසර නැත මට ඔබෙ අත ගන්නට ....." ඒ මල්ලි සාලෙට. මම පරන සින්දු  වලට ආස නිසා එයාලා ඒවා කොහෙන් හරි හොයාගෙන ගයනවා උපහාසෙට

"මේ ඕන්නැති විහිළු එපා හරිද?අම්මට කියනවා" නංගි විහිළුවටත් වගේ තොඳොල් වුණා. 

"කේලමී, අම්ම ඕවා ගණන් ගන්නෙ නැහැ හලෝ" මල්ලි කිව්වෙ උළුවස්සට හේත්තු වෙන ගමන්,,

අපි බලන්  හිටියේ මාමලා එනකං..... 
තේණුකය්ය,ශාණුකය්යා. ශානික්කි අපේ ළමා කාළයෙත් යාළුවෝ... එකතු වුණු හැම වෙලේම සෙල්ලම් කළා. අපි සෙල්ලම් සෙල්ලම් සෙල්ලම්ම කළා... හ්ම්ම් මෙයාලවගේ ගෙඉබ්බෝ නෙවි. කම්ප්යුටර් එකයි  ටී වී එකයි ෆෝන් එකයි තමා මුළු ලෝකෙම.. මොකද ඉතින් මම වෙනස් නොවුනේ? එහෙම නැතිනම් යුගයක පෙරළිය අවරුදු හය අතකට වෙනස් වෙන්න පුළුවන්ද?

ඒ දවස් වල අපි කොච්චර නම් සෙල්ලම් කළාද?


ඇස් රතු වෙලා ඇඟිලි හිරි වැටෙනකම්  කෝටුව අරන් අම්මා එනකම් වතුරේ නැටුවා.සාරි ගප්පි අල්ලන්න ජෑම් බෝතල් හිස් ටින් අරන් වතුරෙ බැහැගෙන හිටියා. ඉදිං චොල්ලි. හොරා පොලිස්. සෙල්ලම් බත් ඉව්වා. පේර ගස් අඹ ගස් ගානේ බඩ ගාලා අමු ගැටත් කඩන් කෑවා. ගලක අඹ ගැට හොරෙන් ලුණු අරන් ඇවිල්ලා කෑවා... මෙයාලට " ඕක හරි අසාධාරනයි කියල කියන්නෙ නැතුං ටී වී වත් බලන්න බැහැනේ.. ම්.ම්.ම්.ම්.ම් මන්දා මුඛරි කම විතරයි තියෙන්නෙ,


ගහකට පොළු කෑල්ලක් ගහලා ගෙඩියක් වත් කඩන්නේ කොහෙද? ඉදිච්ච අඹ හෝදලා කපලා පිඟානටත් දාල දෙන්න ඕනිනේ මේ දෙන්නට?. අඹ ගැටයක් ඇඳුමෙ පිහිදලා ගලක හරි  ගහක හරි ගහලා කන කොට කොච්චර රහද?




නාරං හිඹුටු මාදං සියඹලා අතූ
කෑදං පොකුරු මේ දැන් පවසලා ගතූ
වී දැං හවස් ගුටි දැං පිට පුරා  හිතූ
රෑ දැං දුවමු එයි දැං රතු වෙලා නෙතූ

ගඟ දිය බොර වුනේ අපි දිය කෙළි නිසා නොවෙයි
හිරු බැස දුර ගියේ   මින් රැළ හැඟ වුනා  නොවෙයි
ගිරවුන් ඉගිළුනේ හඳ නැග ආ නිසා   නොවෙයි
පිට අපෙ රත්වුනේ ගුටි කෑ හෙම නිසා  නොවෙයි

අතු අගිස්සෙ එල්ලුනාට
එහි චුට්ටක් පැද්දුනාට
අපි සතුටින් උන්නු දාට
පිට චුට්ටක් රිද්දුනාට

මී මැසි සේනා පසු පස දුවලා
කෑ හැටි මී වද පසු පස හඹලා
මී විත් ඇද දා හිටියද හඬලා
සී වෙයි පෙර දා හිටි හැටි පිනලා

බත් කූරෝ පස්සේ දුවලා
සුදු නූලක් පස්සේ බැඳලා
උන් පස්සේ හනික දුවලා
ගස් අස්සේ නිතර වැටිලා

කළාමැදිරි රෑන රෑන
උන් පස්සේ අපි හඹාන
බොතලේට උන් දමාන
අපි හැදුවා නේ රඹාන?


ලේන් කූඩු කුරුළු කූඩු හොරෙන් බලල එන්නෙත් අපි
ගිරා ජෝඩු  මයින ජෝඩු අල්ල ගන්න හිතුවෙත් අපි
පූස් පැටවු බලු පැටවුන් හොරෙන් ගෙනත් හැදුවෙත් අපි
චොකලට් කන්දට නැගලා කන්න හීන දැක්කෙත් අපි

බෙන් ටෙනිසන් සරදියල්ද - පිස්සු පූසා රොබින් හුඩ්ද
වේලුසුමන සුපර්මෑන්ද - සොරෝ දුටු ගැමුණු ඔබද
හොරා පොලිස් ඉඳින් චොල්ලි- එල්ලේ නැහැ  ක්‍රිකට් අදද
ඉර අවරේ හැංගෙන තුරු - සෙල්ලම ලෙල්ලම වෙන තුරු

කියා දෙන්න කවුරුන් හරි
සතුට කවුද හොරා ගත්තේ?
පොඩි හිටියා වැඩි හිටියෙක්
ගේ ඇතුලෙම දැන් ඉන්නේ?

රූප පෙට්ටියෙ ඇස්දෙක
පරිඝනකය ඇත තනිවට?
හිනා වෙන්න මතකත් නැහැ
මම වැඩිහිටියෙක්!!!



නංගියි මල්ලිගෙයි සද්දයක් නැති බවත් මා දිහා බලන් ඉන්නව බවත් මට තේරිලා එයාලා දිහා බැලුවා.

දෙන්නගෙම හිනාව කනෙන් කන්ට..
"ආහාඅ  අක්කි තනියෙන් හිනාවෙනවා නෙ? " මල්ලි ඔළොක්කුවට කිව්වේ

" අක්කණ්ඩිය තනිවම සිනාවෙන්න් කිමද මලයන්ඩි? "නංගි අහලා එයාම උත්තර දුන්නා.. " ඇයගේ සිත තම මස්සිනා සිහිවී  සිනහා වැස්සක් වැටී ඇති බවයි නොවෙද ඉන් හැඟී යන්නේ?

"ආච්චිගෙ තට්ටෙ" මම හිනාවෙලා කිව්වේ.


"ෂුවර් එකටම නැහැ" මල්ලි කිව්වා
" මොනවද? " නංගි ඇහුවා
" ආච්චිගෙ තට්ටේ නෙවි අක්කිට මතක් වෙලා හිනා ගියේ. අංක එක ආච්චිට තට්ටයක් නැහැ. අංක දෙක තට්ටේ..... " කියලා ඉවර කරන්න  වුණේ මල්ලිට

"අන්න මාමලා එනවා...... " අම්මේ මෙන්න මාමලා එනවා" නංගි කෑ ගැහුවා.....
වෑන් එක මිදුලෙ නවත්තන කොට. අපි ඔක්කොම  මිදුලට ගියා.. කවුරු කාට කතා කරනවද  නැතුන් අපි හැමෝම හැමෝ එක්කම කථා කළේ..


කොහොමද සුද්දියේ. ඉතින් රේණු කොහොමද? හාආ පුංචි කුමාරි ..... ( නංගිව අවුස්සන්න කියන්නෙ )  හරි වැඩේ නේ වුනේ. (ශානුකය්ය කිව්වේ)  හරිවැඩක් නම් කමක් නැහැ ඉතින් .... වැරදි නම් නේ ප්‍රශ්නෙ... ( මමත් පැන්න මැදින් ) එන්න අක්කෙ ගේ ඇතුලට .මොනව හරි බොමුද? ඇයි පරක්කු? ආ පුතා උස ගිහිල්ලනේ. ඔව් ඔව් ඉලංදාරියෙක් (මාමා අපේ මල්ලිට කිව්වේ.. ) තේණුකය්යා විහිළුවට එයාගෙ පිටට පාරක් දුන්නා හිනා වෙන ගමන් මම දිහා බලල ඇහැක් ගැහුව. මට ඉස්සර වගේ දිව දික් කරල දුවන්න හිතුනත් මම හෙමින් අහක බලා ගත්තා .. ( ඉස්සර වගේ බැහැනෙ? මමත් ඉතින් දැන් වැඩිහිටියෙක් නේ? )

අපි සාලෙ වාඩි වුණාම "මගදි අපිට ටැෆික් සාර්ජන්ට් කෙනෙක්ට අහු වුණානෙ? මිනිහ අපෙ ලයිසන් එකත්  අරන් පොලිසියෙන් ඒක ගන්න කියලා..... ලියන්නයි ගියේ...." මාමා පටන් ගත්තා.
"ඉතිං මාමෙ ලයිසන් එක ගත්තාද? "
නැහැ "ඌට ගාණක් අත මිට මෙලෙව්ව නම් හරි"  කියලා මම පුතාට කිවා.
"ගතමන්ට් එකක් දෙන්න කියලා මම අය්යට රහසින් කිව්වා." ඒ කිව්වෙ ශාණුකය්යා
"ගතමන්ට් එකක්?"
"ඔව් හලෝ සම්තින්ග් එකක්"
"සම්තින්ග් එකක්?"
"අල්ලසක් මැට්ටි අල්ලසක්..." මල්ලි කිව්වෙ නැංගිට.. " ඉතින්  අය්යෙ මොකද වුණෙ? " මල්ලි ආයමත්  ඇහුවා....

තෙණුකය්යා ඉතින් හරි ජයග්‍රහණයක් කළා වගේ..
වැඩේ මම "ශේප් කරගත්තා" කිව්වා 
අල්ලසට වචන නම් කීයක්ද  සිංහල භාශාවේ......





අය වැයෙනුත් අල්ලස් කොමිෂන් එක ගැන කියලා තිබ්බනේ?
දුම් පරීක්ශාවාටත් ගාන වැඩි කරලා,,,,, වාහනයක් තියාගන්නවත් නේ ... 
ඉස්සර වගේ ඇඟ බැදු.. පොල් ගස් වලටත් බදු දැන්මනම් සොරි.කොම් තමා නේ....
ඒ ගැන සින්දුවක් නම් තිබ්බා කියලා ෂුවර් .. හැබැයි "මට මතක නැහැ "
සිංදු ඇනෝ අපිට ඒක හොයලා දෙයිනේ?
එතකං මම කවියක් ලියන්නම් 

"අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා"
දල්ලට නැගී ගොස් සුර සැප විඳින යකා
මල්ලට යදී දෙවි ලොව ගැන සිහින  මකා
බල්ලට ගියේ දිවි කුමටද මළද  නොකා

සේවය කෙරේ කැපවුණු මිනිසකුගෙ අගේ
රාවය නැගේ තුන්ලොව දෙවියෙකුගෙ  වගේ
මාවත පෙනේ මේ ලොව සුරලොවක මගේ (මාර්ගය )
නාමය දිලේ පරසතු මල් සුවඳ   නැගේ

අල්ලස ගත්තෙ අඹු දරුවන් රකින්නද?
නින්දෙදි පැතුවෙ පරසතු මල්  නෙලන්නද?
සෙල්ලමෙ විත්ති යටි හිතෙ වත්  නසන්නද?
සන්තොස වික්කෙ සුර සැප හෙම විඳින්නද?

බුදු ගුණ සිහිව හිතෙ සාමය ඇති වේවා
අනුනගෙ දෙයෙහි ඇති ලෝභය නැති වේවා
නුහුගුණ අතැර පිනෙ මාවත හමු වේවා
ඔබටද සොයුර මතු කාලය සුබ  වේවා

අපි ඉතින් බුද්ධාගමේ නෙ?  ඔන්න ඔහේ මතු කාළය සුබ වෙන්න කියලා පැතුවා...
අසභ්‍ය වචන භාවිතය නුසුදුසු කියලා හිතුන නිසා

Nov 17, 2015

සසර ගමනද දිගු .............නිසා

ඔන්න හිතුණා මම මූණු පොතට ලිව් කවි පන්තියක් නිකං විහිලුවට වගේ පෝස්ට් කරන්න..

විහිළුවට වගේ හොඳද?

මෙලෝ රහක් නැති කවි ඔහේ පෝස්ට් කරන එක තමයි මගෙ විනෝදාංශය වෙලා තිබ්බෙ. අනිත්ව ගැන කියන්නෙ නැහැ දැන්ම . හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවනේ?
ප්‍රශ්නේ මොකද්ද දන්නවද.. ඔහේ හිතට එන ඒවා ලිය ලිය හිටිය මට කවි හදන හැටි ඉගෙන ගන්න පුළුවන් වුණා. ඒකට ඉතින් මට කීප දෙනෙක්ම ගෲප්ස් කීපයකුත් උදව් වුණා.

මම දැන් ඉතින් කවි ලියන්න දන්නවා කියල හිතන් ඉන්නව . හැබැය්  ඒ කවි මෙලෝ රහක් නැහැ විතරක් නෙවි ලිවීමේ ප්‍රීතියත් මට නැහැ..
ඉස්සර මම කවි ලිව්වේ අන්තර් ජාලයෙන් ලැබෙන අහම්බෙන් හම්බවෙන රූප වලට.

ඔන්න මම ළඟදිත් එහෙම එකක්/ කීපයක් එව්වා.

ඇති නේ ඇඩ්වර්ටය්සින්ග් පාර.. දැනටම්ම ඔයාලා "හෑක ..හැක " ගානවා ඇති.

සිංදු ඇනෝ මට කිව්ව කවි ටික බ්ලොග් එකට එකතු කරන්න  කියලා. ඒ ටික එක තැනක එකතු වෙනව නේ? කියලා.
මනෝජ් නිතර කියනවා කවිත් පෝස්ට් කරන්න කියලා.. 

ම්.ම්.ම්.ම් මම දන්නවා ඉතින් අපේ බ්ලොග් අයට වැඩිය කවි දිරවන්නේ නැහැ කියලා.

දන්නවනේ ඉතිං ආදරය ගැන අපි හැමෝම කියනවා. අහනවා . හිතනවා. හ්ම්ම්ම්ම්ම් අඬනව ඒ එක එක්කෙනාගෙ අත්දැකීම් මත.


බ්ලොග් වල නම් ඉතින් දකින්නම අඩුයි. ඉන්න අය ආදරය හඳුනන්නේ නැතිද? නැතිනම් හුඟාක් වයසට ගිහින්ද මන්දා.



අහම්බෙන් නෙත ගැටුණු ඡායාරූපයක් දැක ලියූවෙමි.රූමත් ලියක් හිමි නමක් දෙස ඇසිපිය නොහෙළා බලා සිටින රුවකි එය 








සසර ගමනද දිගු .............නිසා
හමුව වෙන්වෙමි නැත ..තොසා
දකිමි ගතලූ වත............. කසා
වඳිමි හිමියනි දණ ............ගසා

භවේ කළ පෙර පව .......වගේ
හිතේ කෙළෙසුන් ඇත ..මගේ
දුකේ කඳුළැලි ඇස..... නැගේ
කෙසේ සමුදෙමි හිමි...... අගේ

"එපා වෙන්නට තව....... පමා
දුකේ කෙළවර මෙය .....තමා"
බසේ හිත නැත දෙමි .....සමා
ගියේ ඇයි ඔබ මා......... දමා

මෙතේ බුදු ළඟ දණ..... නමා
කෙසේ අයදිමි මම....... සමා
හිතේ වෙනකෙකු නැහැ තමා
පෙමේ දුක නොමැතිය ... නිමා

කවේ ලියැවෙන දුක.... ඉබේ
කෙසේ පවසමි මම ...... සබේ
සදා සඟවමි හද.......... ගැබේ
රුවේ නිවනද මට ......... තිබේ

Nov 6, 2015

අපිට මොකද වෙන්නේ?


අද නොවම්බර් 06 වෙනිදා. 2015 සාමාන්‍ය පෙල විභාගයට මාසයක් වගේ ඉතුරුයි..

ඕකෙ ඉතින් කියන්න දෙයක් තියෙනවය? කී ළක්ෂයක් ළමයි ඕක ලියයිද? පවුල් කී ලක්ෂයකට මේක බලපානවද?  කී දෙනෙක් ගෙ ජීවිත තීරණය කරන්වද? කී දෙනෙක් ජීවිතේ නැති කරගනීවිද?

ඔයාලගෙත් කවුරු හරි මේ පාර විභාගෙට ලියනවද? මට නම් හරිම හිතට වදයක්..


ඉතිං බ්ලොග් ලියන කියවන අය මා ගැන වැඩිය දන්නෙ නැහැනෙ? චුට්ටක් කියන්නම්කො මං ගැනත්. මම පව්ලේ වැඩිමල් දුව. මට ඉන්නෙ නංගියි මල්ලියි. නංගි මේ පාර උසස් පෙළ ලිව්වෙ පළවෙනි සැරේට. රිසල්ට්ස් හොඳ වෙන එකක්  නැහැ. දැන්මම එයා ආපහු ක්ලාස් යනව. ටික ටික  පාඩනුත් කරනවා. මම ම්.ම්.ම්.ම්.ම්. උසස් පෙළ කරල ඉන්නෙ . රැකියා විරහිත ගොඩෙ තමා තාම. 

මගේ අප්පච්චි  "මිය පරලොව ගිහින් දැන්" අවුරුදු 7ක් වෙනවා.අම්මයි අපි තුන් දෙනයි කොහොම කොහොම හරි ජීවත් වෙනවා..  

ඉතිං මම ආපහු කථාවට එන්නම්කෝ. (මේක කතාවක් නම්...)මල්ලි මේ පාර ලිව්වට උසස් පෙළ කරන්න තරම් පාස් නොවෙයි කියලයි මට බය.... ඊයේ රෑ දෙකේ විතර ඉඳලා ඇහැරලා .. හිතපු දෙයකුත් නැහැ නොහිතපු දෙයකුත් නැහැ.. මෙයා ( මල්ලී ෆේල් උනොත් මොකද කරන්නේ?  එක තරමකට ඒක ආත්මාර්ථකාමී සිතුවිල්ලක්.. පවුලෙ එකම පිරිමි දරුවා ඉගෙන ගත්තේ නැතිනම් ඒක අනිත් අයටත් බලපානවනේ?

එකම පිරිමි දරුව නෙවි.. කවුරු වුනත් ඒක පවුලට වගේම සමාජයටත් ප්‍රශ්නයක්

ලින්ක් එක පහතින් තියෙනවා
The Sunday Times පත්තරයේ පලවුණු ලිපියකින් කොටසක් තමයි මේ

"

Marginal improvement at this year’s O/L exam results

Last year’s GCE OL Exam results released early this week showed a marginal improvement in the success rate, compared with the previous year.
Of the 164,191 candidates who sat, 60.8% qualified to follow the Advanced Level Exam (AL), while only 4.73% failed in all subjects. In the previous year, 60.57% qualified for the ALs, while 5.31% failed in all six subjects.


However, there was a 5% decrease in the percentage of students who passed in Mathematics, compared with 2010, viz., a success rate of 55.33% in 2011, against 60.38% in 2010. More students passed Science and English last year compared with the previous year. Last year, 62.4% passed in Science, against 61.72% in the previous year. Last year, 44.57% passed in English, against 42.36% in the previous year."

An analysis of those who sat the exam for the first time shows that 4.73% students failed in all nine subjects. A decrease of 0.94% compared with 2010."

ඉතිං ගිය අවුරුද්දෙ (2014 ) ළමයි 164,191  විභාගෙ ලිව්වට උසස් පෙ කරන්න සමත් වෙලා තියෙන්නෙ 60.8% . සියළුම විෂයන්ගෙන් අසමත් අය 4.73%  යි.විද්‍යාව  62.4% ඉංග්‍රීසි 44.57% සමත් වෙලා තියෙන්නෙ.

****හ්ම්ම්ම්ම්ම්ම් ඉතිරි අයට  මොකද වෙන්නෙ?

දේශපාලනයක් මේකට ඇදගන්නේ නැතුං චුට්ටක් හිතමු මල්ලිට මට නංගිට මොන වගේ අනාගතයකට මුහුණදෙන්න වෙයිද?

මම කළේ කොමර්ස් සබ්ජෙක්ටස්..... නංගි බයෝ රිසල්ට්ස් වලටත් බයේ ඉන්නේ..

ඊයේ රෑ මට නින්ද ගියේ නැහැ. මල්ලි පේපර් එකක් කරන්න ගිහින් ඒක මාරු වෙලා ගිහින් නිදා ගත්තා..
 මම ඉතින් එයා ලඟටෙ ගිහින් පින්සේන්ඩු වුනාම එයා කිව්වේ

" මම නම් රෙසල්ට්ස් එන්න කළින් එල්ලිලා මැරෙනවා" කියලා. නිකං හිතලුවක් වුනා නම් හොඳයි ඒක.. 

"එක පාසලක් වැහෙන කොට හිර ගෙවල් 100 ක් ඇරෙනවා කියලා මම අහල තියෙනවා" 

"පාසල මියගිහින්" කියලා කවුදෝ විද්වතෙක් අධ්‍යාපනයේ දුර්වලතා ගැන කතා කරල තියෙනවලු. හැබයි මම දන්නේ මෙච්චරයි අවුරුදු 13ක් පාසලේ ඉගෙන  ගෙන ඉහල අධ්‍යාපනයක් ගන්න බැරිව මම  නැවතිලා කියන එකයි. රැකියාවක් හොයාගන්න බැහැ කියන එකයි

ලින්ක් එක පහතින් තියෙනවා

කඩුවක් ස්කෝලෙට අරන් ඇවිත් ගුරවරයෙක් සහ ළමයෙක් ඝාතනය කළ සිද්ධියකුයි මේ



ලින්ක් එක පහතින් තියෙනවා දහදෙනෙක් මිය ගිහින් 7 දෙනෙකුට තුවාල වුණු පාසලක තවත් සිද්ධියක් මේ




මේ කාරණා වලට අධ්‍යාපනික ආර්ථික සමාජීයය හා මානසික හේතු හා පිළියම තියෙනවද? ඒවා ලංකාවට ගැලපෙනවද? දන්නෙ කෙනෙක් මේවා ගැන ඉන්නවද?

ලින්ක් එක පහතින් තියෙනවා
විභාගේ තමයි අපේ විභාගේ (සෝමලතා සුබසිංහගේ ප්‍රසිද්ධ ගීතයක් )


පාසල තුලින් සමාජ ප්‍රවාහයට වමාරණ  නිසියාකර ආධ්‍යාපනයක් නොලද්දෝ වන අපිට වෙන්නේ මොනවද? 

නිසියාකාර වැඩිදුර අධ්‍යාපනයක් නොලබන වර්ථමාන තරුණ පරපුර අනාගත රට භාර ගන්න ඉන්න අපිට  


හෙටක්?